ථූප තුනක් - වංශ තුනක් | දිනමිණ

ථූප තුනක් - වංශ තුනක්

 

සරභු මහ රහතන් වහන්සේ සහ මත්තාභය මහ රහතන් වහන්සේ සිරිලක් දිව මුල්ම යතිවරයාණන් දෙපළ වේ. නමුත් මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලක් සසුන පිහිටුවන්නට මත්තෙන් ඒ දෙනම පැවිදි වූ බැවින් ප්‍රථම සිංහල යතිවරු ලෙස සඳහන් නොවේ.

එබැවින් මහ අරිට්ඨ තෙරිඳු ප්‍රථම සිංහල භික්‍ෂුව ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේය. මෙලෙස මහ මිහිඳු රහතන් වහන්සේ මෙරට දාගැබ් පිහිටුවන්නට මත්තෙන් දාගැබ් දෙකක් ඉදි වී තිබුණි. එනම් සුමන සමන් දෙවිඳු බැඳ වූ මියුගුණ දාගැබ සහ තපස්සු භල්ලුක දෙපළ ගොඩනැංවූ ගිරිහඬු සෑයය. ඒත් මේ දාගැබ් දෙකම සිරිලක ප්‍රථම දාගැබ් නොවී ථූපාරාමය ප්‍රථම දෑගැබ් බවට පත්ව ඇත.

සැදැහැවත් සිත් රමණීය සුමට සිතුවිලි වලින් සුපසන් කරමින් සිංහල දාගැබ එතැන් පටන් දිගු ගමනක් ගමන් කර ඇත්තේය. වන වැසි රුක්ගොමු අතරින් උස් බිමක අහස සිඹින මේ සුදෝ සුදු නිර්මාණය නෙත් සිත් පහන් කරන්නා වූ අසිරියකි.

ථූපාරාමය නංවමින් සිරිලක දාගැබ් ඇරඹි බවට වූ මතවාදය එක් අතකින් පෙන්වන්නේ දේශපාලන බලය තුළින් බුදු සසුන ද පවතින සැටිය. නමුත් ඉතිහාසවේදීන් සපුරා බලයට යට නොවූ ස්වාධීනයන් බව ඔප්පුවන්නේ ථූපාරාමයට පෙර බඳින ලද ථූප දෙකම සවිස්තරව ලියා තැබීමෙනි.

ථූපාරාමයට පසුව සිරිලක ඊළඟට නිර්මාණය වන දාගැබ අම්බස්ථල සෑයය. ඒ උත්තිය රජ දවසය. මහ මිහිඳු තෙරිඳු පිරිනිවූ කල උන්වහන්සේගේ ධාතු තැන්පත් කර මෙම චෛත්‍යය ගොඩ නැංවිය.

ඉන්පසු සිරිලක රාජ්‍යය සතුරු වියවුලේ වැටී යටපත් වන්නේ එළාර රාජ සමය උදාවීමෙනි. බුදුසසුනේ දායක වුවද, එළාර රජුට දාගැබක් නිර්මාණය කිරීමට නොහැකි විය.

මේ සමග නැවත සිංහල රාජ්‍ය පරපුරක් ඔසවා තැබීමේ දේශපාලන උවමනාව සඵල කරගැනීමේ ජාතික සටන ඇවිළ යන්නේය. මේ සඳහා එක් අතකින් පරම නිවනින් බැහැරව, සසුන ද ගමන් කරමින් රාජ දේශපාලනයට එක් වේ. මන්ද, සිංහල රාජ සිහසුනට හිමිකම උරුම කරගැනීම පිණිස එකම සටන් පාඨය වන්නේ බුදුසසුන සුරැකීමය.

රටේ මහ රජ, එළාර රජුට දැහැමි පිළිවෙත් තිබුණ ද, ඔහු අතින් කිසිදු ථූපයක් ඉදි නොවීම මෙලෙස රජ පදවි පතන සිංහල ප්‍රභූන්ගේ සහ සඟුන් වහන්සේලාගේ නැඟිටීමට හේතු විය. ඒ අනුව එකල සිංහල රාජ සිරිතට මාන බැලූ රාජ වංශ තුනක් විය.

ඒ, කැලණි වංශය, මාගම වංශය හා දීඝ වංශයය. කැලණි රාජධානිය, සෝම රාජධානිය හා මාගම රාජධානිය ලෙස රාජධානි තුනක් තනා ගනිමින් සිංහලයන් මෙම රාජ පෙළපත් තුන සමඟ තුනට බෙදී සිටියේය. එළාර රජුගේ දිගු රාජ පාලනය ලැබූ අස්වැසිල්ල වූයේ මේ තුන්කොන් බල අරගලයය. එනමුත් මෙම වංශ තුනම විවාහ ගනුදෙනු වලින් උන් උන් අතර ඥාති බැඳීම් ගොඩනගා ගෙන තිබුණි. එමෙන්ම මෙම තුන් වංශයටම පුරාණ සිංහල රාජ වංශය සමඟ ලේ නෑකම් තිබූ බව ඉතිහාස පුරාවෘත්ත පෙන්වා දෙයි.

මෙම සිංහල වංශ තුනේ තුන්කොන් බල අරගලයේ ප්‍රතිඵලය ඉස්මත්තට එන්නේ වත්මන දක්වා පවතින මහ බෞද්ධ පුද භූමි තුනක් ඔස්සේය.

කැලණි වංශය කැලණි ථූපය බඳිමින් සිංහල රාජ පදවියට බෞද්ධ ධජය ලබා ගත්තේය. එලෙසම මාගම වංශය තිස්ස මහ ථූපය නිර්මාණය කරමින් කැලණි වංශය අභිභවන සටනට පිවිසේ. දීඝ වංශය සෝමාවති ථූපය ගොඩ නංවමින් සිංහල රාජ ප්‍රාර්ථනාවට එක්විය. ඒ අනුව ථූපාරාමය නිර්මාණය කිරීමෙන් පසුව සිංහල ඉතිහාසයේ වැදගත්ම ථූපයන් තුන බවට පත්වන්නේ කැලණිය, සෝමාවතිය හා තිස්සමහාරාමයය. පූජනීය භූමි ලෙස ඉතිහාස විමසුමක් සිදුවුවද මෙම මහා ථූපයන් තුන පිළිබඳව සාසන දේශපාලන ඉතිහාසය විමසීමට අපේ ඉතිහාසවේදීන්ට අමතකව ගොස් ඇත.

මේ අනුව එළාර විරෝධි ජාතික මතවාදය බිහි වීමට මෙම පූජනීය ස්ථාන තුන ඔස්සේ සිදුවී ඇති දායකත්‍වය ප්‍රබලය.

මන්ද , දීඝ වංශයේ සෝම නුවර ගිරි අබා රජු ද, මාගම වංශයේ මාගම් නුවර කාවන් තිස්ස රජු ද, කැලණි වංශයේ කැලණි නුවර කැලණි තිස්ස රජු ද කල් යල් බලමින් සිටියේ සිංහල බෞද්ධ සටන් පාඨයෙන් එළාර රජ බිඳ දමා කිරුළ අත් පත් කර ගැනීමටය. මෙම තුන් වංශයේ සටන සඳහා මහත් අනුග්‍රහයක් රහසිගතව මහා විහාරයෙන් ලැබුණි. එනම් බුදුන් වහන්සේ වැඩම කළ මෙම ස්ථාන තුනෙහිම මහා ථූප නැංවීමෙන් සිංහල බෞද්ධත්‍වය පුබුදු කරගැනීමේ නිර්මාණ සිතුවිල්ල සහ ඉතිහාස සංකල්පය ලබාදීමෙනි.

ඉන් නොනැවතී කැලණියට, මාගමට සහ සෝම නුවරට ගෞතම බුදුන් වහන්සේගේ වටිනාම ධාතුන් වහන්සේලා ලබාදීමට ද මහා විහාර මහ සඟුන් වහන්සේලා කටයුතු කරන්නෝය.

මහා ථූපයන් තුනක් බැඳුණ ද, සිදුවන්නේ බෞද්ධ හැඟීම් තීව්‍ර වී අනුරාධපුර ශුද්ධ භූමියේ අගය ඉහළ යෑමය. එයට, එළාර රජු මහත් දැහැමිවීමෙන් පිළිතුරු සපයන්නට වීම නිසා මාගම, කැලණි, දීඝ යන වංශ තුනටම සටන කල් අල්ලා ගන්නට සිදුවිය.

එහෙත් මාගම වංශය පෙරමුණට ආවේය. දීඝ වංශයේ ගිරි අබා රජුට තම නැඟණිය වූ සෝමා විවාහ කර දෙන්නේ කාවන්තිස්ස රජ ලද දේශපාලන පරිණත භාවය නිසාය. නමුත් මාගම් පරපුරට එරෙහිව කැලණි වංශය සටනෙහිම සිටියේය. කැලණි වංශය ද විජය රජුගෙන් ඇරඹි භද්ද කච්චායනා කුමරිය නිසා උභය කුල පිවිතුරු වූ සිංහල රාජ සිරිතට ලේ නෑ කමින් බැඳී තිබූ වංශයකි. මේ වනවිට දියණියක් හා පුතුන් දෙදෙනෙකු බිහි කර සිටි කැලණි රජු ද මතු සිංහල කිරුළ හිමි කර ගැනීම සඳහා සටනේ පෙරමුණේම විය.

අන් අතකින් කැලණි වෙහෙර අතීත නා රජුන්ගේ රාජ භූමිය වූ බැවින් ඔහු පසුවූයේ රාජ හැඟුම්බරවය. එමෙන්ම කැලණි ථූපය නගමින් ඔහු ඉටු කළ බුදු සසුන් උදාව කැලණිය වටා රාජ ප්‍රාර්ථනා දල්වන්නේය. කාවන්තිස්ස රජු නොලද උභය කුල පිවිතුරු බිසවත් කැලණි රජුට වීමෙන් රජුගේ රාජ්‍ය ප්‍රාර්ථනාව උස් වන්නේය.

කැලණිය බුදුන් වහන්සේ සෘජුව වැඩම කළ ලංකා ගමන් තුනෙන් එක් භූමියක් වීම සෝම නුවර හා මාගම නුවර පරදවා කැලණිය පෙරට ඒමට මුල් වන්නේය.

මෙලෙස කැලණිය, මාගම අතර රාජ සටන විවෘත විය. එවිට දීඝ වංශය කැලණිය සහ මාගම අභිබවන්නේ සෝමවති මහා ථූපය බඳවමිනි. ඒ මහා ථූපයේ ගෞතමයාණන් වහන්සේගේ දක්‍ෂිණ දළදාව තැන්පත් වීමෙන් සිංහලයන්ගේ මහත් පූජනීය අමානන්දයට බඳුන්වීම කැලණිය සහ මාගම පසුබස්සවන්නට තරම් විය. ඒත් විවාහ ගනුදෙනුවෙන් දීඝ වංශය හා බැඳීම මාගමට ආශිර්වාදයක් විය. ඒත් ගිරි අබා රජු ද මාගම් කුමරිය විවාහ කරගන්නේ මාගමට රජ පදවිය ලබාදීමට නොව දීඝ වංශයට රජ පදවිය ලබා ගැනීමටය.

දීඝ වංශයට මුල් වූ බිම වූ දීඝවාපිය බුදුන් වැඩම කළ පින් බිමකි. එමෙන්ම ගෞතම බුදුන් බිහි කළ ශාක්‍ය වංශයේ කුල කුමරු වූ දීගායු ශාක්‍යසිංහ කුමරු බිහි කළ රාජධානියය. එබැවින් අන් සැමට වඩා දීඝ මණ්ඩලයට රජ පදවියට පරම වූ උරුමයක් තිබුණි. තථාගතයන් වහන්සේගේ දක්‍ෂිණ දළදාව වැඩ වසන නුවර ලෙස එම යටත් යුගයේ සෝම නුවර බෞද්ධ පාරාදීසයක් වන්නේය. මහවැලි නදී ඉවුරෙන් වට මනරම් සොබා පවුරක් වූ සෝම නුවර ඉසුරුමත් රාජධානියක් ද වූයේය.

මෙලෙස තුන් වංශයක්, තුන් නුවරක් සටන් වදින සටන ථූප තුනක් ඔස්සේ ඉස්මත්තට ආයේය. ඒත් විටෙක ලෝකය වෙනස් කරන්නේ පුද්ගලයන් නොව ධර්මතාවයය. ඒ බව පසක් කරමින් මුහුදු රළ ගොඩ වැදී කැලණි කුමරියට මාගම් රාජ බිසව වන්නට සිදුවිය. එවිට එළාරව පළවා හැරීමට ශේෂවන්නේ මාගමය. සටන කැරකී, වෙළී, බැඳී, ගෙතී මාගමට තල්ලු වන්නේය. ඒ සසුන බිඳගෙන යුද්ධය සඳහා දේශපාලන පෙරමුණක් තැනීමෙනි. ඒ අනුව පිළිවෙත් සරු සංඝයා වහන්සේලා ද, රාජ වරප්‍රසාද ලත් සංඝයා වහන්සේලා ද, විප්ලවීය දේශපාලන සඟුන් ලෙස ද, සිංහල සංඝයා තුන් කඩකට බෙදී ගියේය.

දේශපාලන සඟුන් වහන්සේලා මාගමට රැස්ව ගැමුණු කුමරුගේ අසිපතට ආශිර්වාද කරමින් අනුරපුරය බලා ගමන් ඇරඹූහ. එවිට කැලණි මහා වෙහෙරට ද, සෝමාවතියට ද, තිස්සමහාරාමයට ද එකට එක්වීමට හැර වෙන මඟක් නොවීය. මන්ද, කැලණිතිස්ස දුව මාගම් මහා දේවියය. සෝම රජු ගිරි අබා මහළුව පුතුන් අහිමිව සිටියේය. ස්වභාව දහම සියල්ල වෙනස් කළේ එලෙසය.

ගැමුණු, උන්මාදනීය සිංහල හැඟීමක් සිංහලයන් තුළ කා වද්දන්නේය. ඒ හැඟීම එළාර සමතලා කළ අනුරපුරින් විජිතය නගන්නේය. සිව් සාළිස් වසක් සිංහල හද පපුව වැද තිබූ දෙමළ විරෝධය ජය ගන්නේ නොනිමි හද හැඟීමක් උරුම කර දෙමිනි.

මෙලෙස ඇරඹි මාගම් වංශය සදාතනික වන්නේය. ඒ ථූපාරාමයට පසු සිංහලේ අග රජු දාගැබක් බැන්ද වීමෙනි. ඒ මහා ථූපයය. මේ මහා ථූප කථාවේ මහා ථූපය රුවන්වැලි මහා සෑයය. එයට පෙර ද, පසු ද කෙතරම් ථූප බැඳුන ද, මහා ථූපය රුවන්වැලි මහා සෑයමය. ඒ ගැන කියවීමට, ලිවීමට, ඇසීමට බොහෝ කතාය. ඒත් දන්නා කතාවේ නොදන්නා කථාව මෙසේය.

එනම් කැලණි ථූපය, මාගම් ථූපය හා සෝමාවති ථූපය අතරින් ඇවිද, නැගිට, පිබිද ජය ලැබූ ගැමුණු නිරිඳු තෙමේ ථූප තාලය වටහා ගත් බවය. එළාර දුටුගැමුණු කථාව අපිට අමතක කළ හැකිය. නොවේ නම් මතක තබා ගැනීමෙන් ඵලක් නැතැයි කිව හැකිය. එකී කථාව සිංහල, දෙමළ දෙසිතම පාරන කතාවක් නිසා අමතක කර නව එකමුතුවකට පෙළ ගැසිය හැකිය. ඒත් මහාථූපය අමතක කළ හැකිද? නොහැකිය.

මහාථූපය අන් සියලු ථූප අභිභවමින් සිංහල ථූපය වී ඇත. එම නිසා සියළු රජ දරුවන් පරයමින්, අමතක කරමින් සිංහලයන්ට අමතක නොවන එකම රජ දරුවා බවට දුටුගැමුණු නිරිඳු පත්ව ඇත්තේය. සෝමාවති ථූපය වන්දනීය වුවද, ගිරි අබා රජ අමතකය. කැලණි ථූපය වන්දනීය වුවද, කැලණිතිස්ස රජ අමතකය. තිස්සමහාරාමය වන්දනීය වුවද, කාවන්තිස්ස රජු අමතකය. එහෙත් මහා ථූපය වූ රුවන්වැලි සෑය පූජනීය වී දුටුගැමුණු නිරිඳු වන්දනීය වී ඇත. කිසිදු ථූපයක්, කිසිදු රජෙක් නොලද මේ මහා උරුමය දුටුගැමුණු නිරිඳුට තාල මාන වූයේ ථූප තාලය නිසාය.

ඉතින් ඉතිහාසය දෙදහස් වසරක් ගෙවා ඇත. අදත් මහා ථූපය පරදවන්නට කිසිවෙකුට නොහැකි වී ඇත. රජුන්, අගමැතිවරුන්, ජනාධිපතිවරුන් බිහිවිය. රාජ යුග පසුවිය. ථූපය මහා ථූපයමය. රජු දුටුගැමුණුමය. එය අභිබවන්නට අභයගිරිය ද, ජේතවනාරාමය ද තැනුනේය. මහා ථූපයට උසින් අහස සිඹින අභයගිරිය ද, ජේතවනාරාමය ද, දැක දැක බෞද්ධයන් මල් පුදන්නේ මහා ථූපයටය. එබැවින් මහා ථූපය, දාගැබ් අතර මහා දාගැබය. එමෙන්ම දුටුගැමුණු, රජුන් අතර රජුය. ඒ ඔහු දේශපාලනය ද, බුදු සසුන ද මැනවින් සහවාස කරගත් බැවිනි.

 සුජිත් අක්කරවත්ත

නව අදහස දක්වන්න